සොඳුර නුඹ ලිහිනියක
රත්න ශ්‍රී විජේසිංහයන් අතින් කැටයම් වුනු තවත් අපූරු ගීතයක් වන මෙම ගීතයගුණදාස කපුගේ ශූරීන් සංගීතවත් කර ගායනා කරන ලද ගීතයක්...මෙය විරහ ගීතයක් වූවාට ටිකක් වෙනස් ආකාරයේ විරහ ගීතයක් . මොකද පෙම්වතුන් දෙදෙනෙක් වෙන්වීමේ සිදුවීමක් නොවේ මේ ගීතයෙන් කියවෙන්නේ.. මේ ගීතයෙන් කියවෙන්නේ විවාහපත් වූ දෙදෙනෙක් එකිනෙකාගෙන් දුරස් වීම හේතුවෙන් ඇති වූ විරහවක්.කපුගේ විසින් සංගීතවත් කරන ලද අනෙක් ගීතයන් මෙන්ම මෙම ගීතයද ගීතයේ අරුතට ගැලපෙන අයුරින් තනු නිර්මාණය කර තිබෙනවා .මේ ගීතයට හේතුපාදක වූ කතාව මම කෙටියෙන් කියන්නම් .
මයුර සංදේශයේ අපූරු කවියක් තිබෙනවා මේ ගීතයට පාදක උන....
ගසා කරින් සක්වා වෙන් කළ පවින
නිශා පියඹ සහ තුරු පිරිවර ගියෙන
සසා වෙසින් දුමුරස වෙමිනි එම දින
සසාදරහු බල ඵල ලද උදෑසන
'කරින්' කියන්නෙ 'රශ්මියෙන්'. 'සක්වා ' කියන්නේ සක්වා ලිහිනියන්ට . රශ්මියෙන් පහරදීලා සක්වාලිහිනියන් වෙන් කළා කියලා තමා මේ කියන්නේ.' වෙන් කළ පවින ' ඒක පවක් .. පවක් කරල තියනවා. කවුද .. හඳ තමා මේ පව කරලා තියෙන්නේ .. සක්වාලිහිනින් කියන කුරුල්ලන් සාමාන්‍යයෙන් ඉන්නෙ යුගල වශයෙන්.දහවල් කාලයේදී යුගල වශයෙන් ඉදලා ඉර බැස යන සැන්දෑ වේලාවේදී මේ දෙන්නා වෙන් වෙනවා.වෙන්ව් එලා ගඟේ දෙපැත්තට ගිහිල්ලා දැපැත්තෙ ගස් දෙකක මූණට මූණ බලාගෙන එලිවෙනකම් හඬනවා. ඔය සිද්ධිය තමා මේ කවියා කියන්නේ.ඒක වෙන්නෙ කොහොමද ..'ගසා කරින් සක්වා වෙන් කළ පවින' සඳ පායනකොට තමා මේක වෙන්නේ.රශ්මියෙන් පහරදීම නිසා තමා මේ දෙදෙනා දෙපැත්තට යන්නේ..'නිශා පියඹ සහ තුරු පිරිවර ගියෙන' නිශා පියඹ කියන්නේ රාත්‍රිය නැමැති කාන්තාව.කාන්තාවයි ' තුරු පිරිවර ගියෙන ' තාරකා පිරිවර යි යන්න ගියා යන්න. ඒ කියන්නේ රාත්‍රිය ගෙවුනා කියලා තමා මේ කියන්නේ.. ' සසා වෙසින් දුමුරස වෙමිනි එම දින ' ඔන්න දැන් සක්වාලිහිනින් වෙන් කළ හඳට, පව් පලදෙන වෙලාව..හඳට මොකද වෙන්නේ.. හාවෙක්ගේ වේශයෙන් දුඹුරු පාටට හැරෙන්න ගන්නවා හඳ..' දුමුරස වෙමිනි එම දින ' ' සසාදරහු බල ඵල ලද උදෑසන ' 'සසාදරහු බල' බලන්න හඳ දිහෑ ..'ඵල ලද උදෑසන' උදෑසන මොකක්ද වෙලා තිබෙන්නේ කියලා ..
ඔය වගේ එක් කාලෙක තිබුණු ආණ්ඩුවක් රත්න ශ්‍රී විජේසිංහ මහත්තයට ඔය පවම කලා ..රත්න ශ්‍රී මහත්තයා ගුරුවරයෙක් ලෙස වැඩකරපු 80 දශකයේ මුල් භාගයේදී එවකට පැවති රජය හිතක් පපුවක් නැතිව මොණරාගල අති දුෂ්කර ගමක පාසලක සේවයට එතුමාව පිටත්කර හරිනවා . මේ කාලය මෙතුමා විවාහපත්වූ අලුත .. එතුමාගේ ලොකු දුව පමණයි හිටියෙ .. මොණරාගල වැනි නන්නාදුනනා පළාතකට මේ දෙදෙනාව එක්කගෙන යන්න හැකියාවක් රත්න ශ්‍රී මහත්තයට තිබුනෙ නෑ. ඉතින් මෙතුමා තනියම යනවා මොණරාගලට ..ඒ ඉන්න අතරේ ඉතින් රත්න ශ්‍රී මහත්මයාට සිහිවෙනවා ..මේකත් හරියට අර සක්වාලිහිනින්ගේ කථාව වගේ කියලා.. අර සඳ කිරණ සක්වාලිහිනින් දෙදෙනාව වෙන්කලා වගේ.. රජය මට දැන් මේක කරලා තිබෙනවා ..
1. සොදුර නුඹ ලිහිනියක
2. රැයේ අඳුරට හඬන
' සොදුර .. නුඹ හරියට සක්වාලිහිනියක් වගේ .. ගගේ ඉවුරු දෙකේ මෙන් ඈත සිටන් අදුරට හඩන .. ' රැයේ අදුරට හඩන ' අප වෙන්කළ සමාජයේ කෘර බව නිසා හඬන..
3. මමද ලිහිණියකු වෙමි
4. කැඩුණු තටු පිරිමදින
'මමද ලිහිණියකු වෙමි' මමත් ලිහිනියක් තමා ' කැඩුණු තටු පිරිමදින' හැබැයි මගේ තටු කඩලා...නිහඬ කරලා .. කවුද .. මාව දුශ්කර සේවයට දැම්ම පිරිස් .. තටු කැඩුවට පස්සෙ ඉතින් කරන්න දෙයක් නෑ ගඟ එගොඩට එන්න හැදුවත් එන්න බෑ .. 'කැඩුණු තටු පිරිමදින ' දැන් ඉතින් කරන්න දෙයක් නෑ ..තටු පිරිමැදීම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ..තටු පිරිමැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ... නැවත සුවපත් වෙයි කියන එක .. ඒ කියන්නේ කවදා හරි තම ගමේ පාසලේ පත්වීමක් තවමත් බලාපොරොත්තුවෙන් සිටිනා වග නොවේද ..
5. අහිංසක අප දෙදෙන
6. තටු කඩා මේ ලෙසින
7. සිදී ගිය ගඟ දෑල
8. හැර දැමූයේ කවුද
අහිංසක ලෙස ජීවිතය ආරම්භකිරීමට මගබලා සිටි මේ දෙදෙනා මේ විදිහට තටු කඩා දාලා .. රජය ගමේ පත්වීම දෙනකම් දෙදෙනාට ආයේ එකතු වෙන්න බෑ..'සිදී ගිය ගඟ දෑල' ගගක් හිදුනා ඒ වූ මේ අති දුශ්කර පලාතේ ..' හැර දැමූයේ කවුද ' අතෑරලා දැම්මේ කවුද?..රචකයා ප්‍රශ්න කරනවා හැබැයි කවදාවත් කෙලින් කියන්නේ නෑ කවුද මේක කලේ කියලා ... කැලයක ඉන්නා වනසතුන්ට ජලය ලබාදෙන විශාල ගගක් සිදුනාම වනසතුන්ට වන පීඩාව පොඩ්ඩක් හිතලා බලන්න. රචකයා කියන්න උත්සාහ කරන්නේ .. දුශ්කර නොවන පලාතක ජීවත් වූ මා වැනි පුද්ගලයෙක්ට එකවර මේ වාගේ දුශ්කර පළාතක ජීවත් වීමට සිදුවූ විට සිදුවන අපහසුතාවය යි .
9. සඳට දොස් නොකියන්න
10. සඳ කුමක් කරන්නද
මයුර සංදේශ කවියා ප්‍රකාශ කල අකාරයට සඳ තමා මේ වෙන්කිරීම කරලා තිබෙන්නේ .. ඉතින් රත්න ශ්‍රී මහතා කියනවා .. මයුර සංදේශේ එහෙම කිව්වට සඳ කුමක් කරන්නද ..සඳට දොස් පටවලා වැඩක් නෑ..මේක සැලලිහිණින්ගේ ජීවිතේ හැටි... මෙතුමා මේ නොකියා කියන්නේ..රජයට දොස් කියන්න එපා කියලා ..
11. බාල වයසින් මැරුණ
12. ප්‍රේමයකි තරු එලිය
'බාල වයසින් මැරුණ' අකාලයේ බිඳී ගිය 'ප්‍රේමයකි තරු එලිය ' ප්‍රේමය තමා මේ තරු එලිය වශයෙන් තිබෙන්නේ .. මෙතන ප්‍රේමය බිදී ගියා කියන වචනයේ තේරුම පරිදි රත්න ශ්‍රී මහත්මයාගේ ප්‍රේමය බිදී ගිහිල්ලා නෑ.. මෙතන කතා කරමින් හිටියේ .. සක්වා ලිහිනින් ගැනනේ ..සක්වා ලිහිනින්ගේ ප්‍රේමය බිදී ගිහිනුත් නෑ .. මෙතන සඟවා ප්‍රකාශ කරන්නේ ..තරු අහසේ ගනන් කරන්න බැරි තරම් තිබෙනවානේ.. ඒ වගේ විවාහපත් වෙලා දරු මල්ලන් දමා දුර සේවයේ යෙදෙන පුද්ගලයින් කොපමණ සිටින්නට ඇතිද ..ඉන්නවා ඇතිද .මෙසේ විවාහපත් වෙලත් එක වහලක් යට නොමැති සැමියන් කොපමණ අතිද... කියලා තමා .. ඔබට අවශ්‍යනම් කුමන ආකාරයෙන් මේ ගීතය රසවින්දත් කමක් නෑ... හැබැයි මේක තමා ගීතයේ සැබෑ යටගියාව ..
13. කටුක දුක් විරහ මැද
14. අතරමං වී ගියද
15. අපි තවම පෙම් කරමු
16. අපේ ජීවිත වලට
මේ වගේ දැඩි විරහවන් මැද ජීවිතය අතරමං උණාට ... අපි තවම පෙම් කරනවා අපේ ජීවිත වලට .. මේ කියන්නේ විවාහය මෙතනින් කෙලවර වෙන්නේ නෑ .. අපි තාමත් ආදරය කරනවා ..ඈත ඉදන් උවත් .. කියලා තමා ..
17. කියාදෙමු පියඹන්ට
18. අපි අපේ පැටවුන්ට
19. නිදහසේ තටු ලැබුණ
20. කුරුල්ලන් වී දිනෙක
'කියාදෙමු පියඹන්ට ' අපිට පියඹන්නට බැරි උනාට... ඒ කියන්නේ අපිට නිදහසේ එකතු වෙලා ජීවත් වන්නට නොහැකි වූවාට ...නිදහසේ ජීවත් වන ආකාරය අපි කියා දෙමු අපේ ලමයින්ට 'අපි අපේ පැටවුන්ට' .. ' නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක' අපි දවසක එක් වේවි .. එතකොට අපට නිදසේ තටු ලැබුනා ආගේ තමා .. එතකොට අපි දරුවන්ට මේ පාඩම කියා දෙමු .. කොහොමද ජීවිතයේ කටුක දුක් මැද එකට ඉන්නේ ..කියලා තමා රචකයා කියන්නේ .. දරුවන්ගේ සුභ සිද්ධිය තමා මේ කොටසින් ප්‍රාර්ථනා කරන්නේ .. සමහර විට රචකයාට තම අඹු දරුවන් මොණරාගලට ගෙනයාමට නොහැකිවූයේ මුදල් ප්‍රශ්නය නිසා වෙන්න පුලුවන් .. ඉතින් මෙම කොටසින් රචකයා කියන්නේ .. තමාට ඕනා ආකාරයෙන් ජීව්ත් වීමට පරිසරයක් අපි දරුවන්ට සකසලා දෙන්න ඕනා කියන පණිවිඩය ...
මෙම විචාරයේ පාදක කථාව සදහා විශේෂ ස්තූතිය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාට හිමිවිය යුතුයි ...
අදහස් තිබේනම් කමෙන්ට් කරන්න ..
No comments:
Post a Comment